රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන
අලුපොලඇල්ල
රත්නපුර සිට වේවැල්වත්ත හරහා බලංගොඩ වෙත ගමන් කරන ඔබට 30km පමණ දුරින් වේවැල්වත්ත හන්දිය හමුවේ. එතැන් සිට 2.5km පමණ දුරින් හමුවන අලුපොල ඇල්ල සුන්දර දිය ඇල්ලකි.
රත්නපුර වේවැල්වත්තේ අලුපොල වතුයායේ උරුමයක් වන අලුපොල ඇල්ල උස 68m ක් වන අතර මහල් 3කින් සමන්විතය.
1047m ක් පමණ උස බතුරුගල කන්දේ දකුණු බෑවුමේ කළුගල්දෝවෙන් ආරම්භ වන මේ අපූරු හැඩකාරිය අහල පහල දිය දහරා එකතුකර අලුපොල ඇල්ල නිර්මාණය කරමින් වේවැල් දොළ හා එක්ව වලවේ ගඟට එක් වේ.
මේ දියඇල්ලටම අලුපොල ඇල්ල ලෙස නම් තැබීමට ආසන්නතම හේතුව වන්නට ඇත්තේ දිය ඇල්ල ආසන්නයේ පිහිටි අලුපොල වතුයාය නිසා විය හැකිය. සැබෑ ලෙසම මේ දියඇල්ල අයත්වන්නේද එක් පැත්තකින් අලුපොල වතුයායටමය. එම ප්‍රදේශයේ ජල පෝෂක ස්ථාන ගණනාවක්ම ඇති නිසා ඉතා ඉහළ සුන්දරත්වයක් අත්විඳින්න පුලුවන්. අලුපොල ඇල්ල විතරක් නොව මේ ආසන්නයේ තවත් ලොකු කුඩා දිය ඇලි විශාල සංඛ්‍යාවක් මෙහි එන සංචාරකයන්ට නරඹන්නට අවස්ථාව ලැබෙනවා. උසින් මීටර් 68ක්, එනම් අඩි 238ක් උස අලුපොල ඇල්ල කොටස් කිහිපයකට ජලය කඩාහැලෙන ආකාරයට නිර්මාණයවී තිබෙනවා.
ශ්‍රී පාද අඩවියට වැස්ස වැඩිපුර ලැබෙන කාලයට අලුපොල ඇල්ල ඉතාම සුන්දර විදිහට ජල දහරාවක් පහලට අතහරින්නේ හරියට කාන්තාවකගේ කේශ කලාපය වගෙයි. ඇල්ල පාමුල තිබෙන සුන්ද ජල තටාකයත් එහි නිල්වන් ජලයත් සංචාරකයන්ගේ හදවත වශීකරවන දසුනක්.
ඉදුරු ගඟ
මෙය වන රක්ෂණ දෙපාර්තමේන්තුව ගිලීමලේ - එරත්න යෝජිත රක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ඇති අතර එය ගම් වාසින් ඉදුරු මුකලාන ලෙසද නම් කරයි. හෙක්ටයාර 7500 ක් පමණ බිම් ප්‍රමාණයක පැතිරී ඇති මෙය, වනාන්තර වර්ගීකරණයේදි "පහත රට වැසි වනාන්තර" ගනයට වැටෙන අතර මෙය රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පැතිරි ඇත.
මෙම රක්ෂිතයට මායිම්ව ඉදුරු ගග ගලා බසී. එය ලංකාවාසී ජනතාව අතර මහත් ප්‍රසිද්ධියට පත් වු ගංගාවක් වන අතර සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන්නේ එහි ඇති පිරිසිදු ජලය නෑම සදහාය. වර්තමානය වන විට මෙම ගං මිටියාවත දුෂණය වි ඇත.
මෙම රක්ෂිතයෙහි ලංකාවට ආවේණික ශාක සහ සතුන් විශාල සංඛ්‍යාවක් ඇත. එ අතර හොර,නැදුන් වැනි ඉහල වටිනාකමක් අති ශාක ද මෙහි ඇත. ඉතා වටිනාකමකින් යුත් බෙහෙත් පැලෑටි, ශාක විශාල වශයෙන් මෙම රක්ෂිතය තුල දැකගත හැකිය.
කූනිස්සන් ඇල්ල
රත්නපුර නගරය පසුකොට පලාබද්දල ශ්‍රීපාද පිවිසුම තෙක් දිවෙන මාර්ගයේ ගමන්කොට රත්ගඟ පුංචි දඹදිව මාර්ගයට හැරවීමෙන් අනතුරුව පුංචි දඹදිවද පසුකොට නාවින්න ආදී ග්‍රාමයන් පසුකරමින් කුඩාව නම් ග්‍රාමයට පිවිස අවසානයේ තේ වගාවක් ඔස්සේ ගමන් කිරීමෙන් එතරම් අපහසුවකින් තොරව මෙම අලංකාර දියඇල්ල වෙත ලඟාවිය හැක.
රත්ගඟ පුංචි දඹදිව පසු වූ විට මාර්ගය බොහෝ අබලන් තත්වයේ පවතින අතර වාහනයක යන්නේ නම් කුඩාව තෙක් වාහනය පදවාගෙන ගොස් ඉන් එහාට පාගමනින් යායුතුවේ. ගමනේ අවසාන කොටස තේ වත්තක් මැදින් යායුතු අතර ඉන්පසු තේ වත්තේ මායිමෙන් වන වැස්මකට ඇතුල්වී වන වැස්ම ආරම්භයේදීම වාගේ පිහිටා ඇති කූනිස්සන් ඇල්ල ආසන්නයට පැමිණිය හැක නාවින්න ගම්මානයේ කෙලවරක පිහිටි ගම් වාසීන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරන සහ ඔවුන් විසින් දිය බුබුළ නමින් හඳුන්වන දිය උල්පතක්ද ඒ ආසන්නයේ ඇත.
කූනිස්සන් ඇල්ල කොටස් දෙකකින් කඩා හැලෙන අතර දැඩි වර්ෂාවකදී කූනිස්සන් ඇල්ල මුලු ගල් තලාවම වසාගනී.මෙය සුන්දරත්වයෙන් අනූන දිය ඇල්ලකි.
ගිලීමලේ වලව්ව
රත්නපුර දිස්ත්‍රික්කය මැණික්වලට දියඇලි හා වලව් වලට ප්‍රසිද්ධය. ගිලීමලේද වලව්වකි.එය ක්‍රිස්තු වර්ශ 1707 - 1739 අතර රජකල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස ඉදිකල එකකි. එය ඉදිකලේ ලක්සේ මුදියන්සේලාගේ පාගොඩ බණ්ඩාරයන් විසිනි . රජුගේ මනාපය සඳහා කුණුදිය පර්වතය මත ගිනිමැලයක් දැල්වීම නිසා රාජ ප්‍රශංසාවට පත්ව ලද වරදාන මගින් මේ වලව්ව ඉදිකර ඇතැයි පැවසේ. වර්තමානයේ මෙය සංචාරක හෝටලයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
දුම්පුස් ඇල්ල
දුම්පුස් ඇල්ල ශ්‍රීලංකාවේ පිහිටි තවත් එක් සුන්දර දිය ඇල්ලක් වන අතර එය රත්නපුර දිස්ත්‍රික්කයේ පලලින් වැඩිම දිය ඇල්ලයි. දුම්පුස් ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර සිරිපාගම මාර්ගයේ, රත්නපුර නගරයේ සිට 19km දුරින් පිහිටා ඇති ඉඳුරුව රක්ෂිතයට මායිම්වය.
දුම්පුස් ඇල්ල ගිලීමලේ බස්නාහිර කඳු පන්තියෙන් ආරම්භ වී ගලා බසින ඉඳුරු ගඟ අතු ගංගා රාශියකින් පෝෂණය වී ඉඳුරුව රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති ගල්පරය මතින් දුම්පුස් ඇල්ල නිර්මාණය වි ඇත. දුම්පුස් ඇල්ල උස 6m ක් පමණ වන අතර එහි පලල 36m ක් පමණ වේ. දුම්පුස් ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති දිය ඇලි අතරින් පලලින් වැඩිම දිය ඇල්ල වේ.
දුම්පුස් ඇල්ල අවට සුවිසල් ජෛව විවිධත්ව පද්ධතියකින් සමන්විතය. එහි ඒක දේශීය ශාක සහ සතුන් විශාල වශයෙන් හමුවන අතර දුම්පුස් ඇල්ල වටකරමින් ඇති ඉඳුරුව රක්ෂිතයද ඇල්ලේ ස්වභාව සුන්දරත්වය තවත් වැඩි කරයි. ඉතා පිරිසිදු ජලයෙන් සමන්විත දුම්පුස් ඇල්ල, ස්භාදහමට ලැබී ඇති මහගු දායාදයකි.
දුම්පුස් ඇල්ල නැරඹීමට ප්‍රධාන මාර්ගයේ සිට ඉඳුරු ගඟ දිගෙහි 300m පමණ ඉහලට ගමන් කල යුතුයි. ඉහල ජල ධාරිතාවකින් සමන්විත දුම්පුස් ඇල්ල වැසි සමයේදි තරමක් දුරට ප්‍රචණ්ඩකාරී වේ. සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් දුම්පුස් ඇල්ල, අප සභා සීමාව තුළ පැවතීම අපට මහත් අභිමානයට කරුණකි.
දෙහෙන ඇල්ල
සමනල අඩවියේ සුදු සේලය බඳු සුන්දර දෙහෙනඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වීම අපට ඉතා ආඩම්බරයට කරුණකි. ලංකාවේ දියඇලි අතර 27 වැනි ස්ථානය දෙහෙනඇල්ලට හිමිය. රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර් 20 ක් පමණ ගිය විට මේ මනරම් දිය ඇලි කොමලිය හමුවේ. සමනල අඩවියේ දෙහෙනකන්ද මෙහි උපතයි. බඹරබොටුව ගඟේ අතු ගංගාවක් ලෙස දියඇල්ල නිර්මාණය වෙයි. දෙහෙනඇල්ල පාමුල විශාල ගල් කීපයකි. එයින් මෙම ඇල්ලේ සුන්දරත්වය තවත් වැඩිදියුණු වී ඇත. නෙතට රසඳුනක් බඳු සමනල අඩවියේ සුදු සේලය රැක ගැනීම අපේ යුතුකම බව එය නරඹන ඔබ සිත තබා ගත යුතුයි.
මාපලාන ඇල්ල
ශ්‍රී ලංකාවේ උසින් සිව්වන ස්ථානය ගන්නා මාපලාන ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් වැඩිම දිය ඇල්ලයි. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය සභා සීමාවේ පිහිටා ඇති මාපලාන ඇල්ල උසින් 141m වේ. මාපලාන ඇල්ල කොටස් තුනකින් සමන්විත වේ.
මාපලාන ඇල්ල නැරඹීමට පැමිණෙන්නේ නම් රත්නපුර - සිරිපාගම මාර්ගයේ කිලෝමීටර් 22ක් ක් පැමිණ , පලාබද්දල මහාවත්ත මංසන්දියෙන් මාපලාන පරේ 2km ක් ගිය පසු මාපලාන ඇල්ල හමුවේ. සිරිපා කඳු මුදුනේ දකුණත පිහිටා ඇති 1868m ක් උස බැන සමනලින් ඇරැඹෙන ඇල්ලේ ඔය කොණ්ඩගල නම් ස්ථානයේදී මාපලාන ඇල්ල නිර්මාණය වේ. සොබාදම් රැජිනගේ අපුර්ව නිර්මාණයක් වන මාපලාන ඇල්ල ඉතාම වටිනා ජෛව පද්ධතියක් වේ. ඇල්ල ඇද හැලෙන පර්වතය පාංශු ඛාදනයට ඔරොත්තු දෙන පාෂාණ වලින් සමන්විතයි. මෙම භුමිය තුල ලංකාවට ආවේණික සතුන් හා ශාක විශාල ප්‍රමාණයක් සමන්විතය.
වැසි සමයේදි ඉතා භයන්කාර ස්වරූපයක් ගන්නා මාපලාන ඇල්ල ක්ෂණිකව ජල ධාරාව වැඩි වේ. නමුත් මෙය ජල විද්‍යාත්මක වශයෙන් මහගු සම්පතක් වේ. වර්තමානය වන විට මේ ඇල්ල ආශ්‍රිතව ජල විදුලි නිශ්පාදිත මධ්‍යස්ථාන ආරම්භකර ඇත. එමගින් ජාතික විදුලි බල පද්ධතිය තව දුරටත් ශක්තිමත් කරයි. මෙ සියල්ල අවසානයේ මාපලාන ඔය කළුගඟ හා මුසුවේ.
මදනගිරි ඇල්ල
මීටර්70 අඩි226 උස මදනගිරි ඇල්ල ද රත්නපුර ප්‍රාදේශීය සභාවට අයත් වේවැල්වත්ත ප්‍රදේශය තුළ පිහිටා ඇත.සුන්දරත්වයෙන් අනූන මෙම ඇල්ල ද සංචාරක ආකර්ශනය දිනා ගත් දිය ඇල්ලකි.
