රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඇති පුජනිය ස්ථාන
ශ්‍රී පාදස්ථානය
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය." මින් අප සභා සීමාවට අයත් ශ්‍රී පලාබද්දල මාර්ගය සොබා සෞන්දර්යයෙන් අනූන මාර්ගයකි.
ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති.
ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය.
මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන :ඉඳිකටුපාන-ල මහගිරිදඹල අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේල ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් :අඩි 7360- උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්‍රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.
ශ්‍රී පලාබද්දල රජමහා විහාරය
1752න් පසු සමයේදී සිරිපා වාරයේ උඩමළුවේ පුද පෙත් ලබන දෙවි පිළිරුව ඇතුළු පූජා භාණ්ඩ අවාරයේදී ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද විහාරයේ තැන්පත් කර තිබේ. ශ්‍රීපාදස්ථානාධිපති ධුරයෙන් පිදුම් ලබන ස්වාමීන් වහන්සේ නිසැකවම ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද විහාරයේත්, පැල්මඩුලු රජමහා විහාරයේත්, ගල්පොත්තාවෙල රජමහා විහාරයේත් විහාරාධිපති ධුරයට පත් වීම සම්ප්‍රදායකි. සිරිපා වාරයේදී පලාබද්දල විහාරයේ දී ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගේ තාවකාලික වාසස්ථානය වන්නේ පලාබද්ගල රජමහා විහාරයයි. නිල ආරාමය වන්නේ ගල්පොත්තාවල පන්සලයි.
එනිසා උඩමළුවේ පවතින පූජා භාණ්ඩ පලාබද්දල විහාරයේ තැන්පත් කිරීමේ දී ආරක්ෂාව ගැන කිසිදු ගැටලුවක් මතු නොවිණි. එහෙත් ගැටලුව මතු වූයේ 1935 දීය. 1913 දී ශ්‍රීපා-දස්ථානයේ අධිපති ධුරයට පත් වෙන රඹුක්පොත ශ්‍රී පඤ්ඤාසාර හිමියන් 1934 දී අපවත් වීමෙන් පසුව වේහැල්ලේ සඟ පරපුර විසින් මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන් ශ්‍රීපාද-ස්ථානාධිපති ධුරය සඳහා නම් කරන ලදි. එහෙත් වේහැල්ලේ සඟ පරම්පරාවේම ශිෂ්‍යානු-ශිෂ්‍ය පරම්පරාවකට අයිතිවාසිකම් කියන ඌරාපොළ රතනජෝති හිමියන් එම පත් කිරීමට එරෙහිව නඩු මඟට බැසීම නිසා 1954 දක්වාම ශ්‍රීපාදය ගිහි භාරකරුවෙකු යටතේ පාලනය විය.
එවිට අවාරයේදී උඩමළුවේ පවතින පූජා භාණ්ඩ මොරොන්තුඩුවේ හිමියන් වැඩ වාසය කළ පලාබද්දල විහාරයේ තැන්පත් කිරීම ගැටලු සහගත දෙයක් වන බැවින් ගිහි භාරකාර-ත්වයට පත් වූ සිඩ්නි එල්ලාවල මහතා විසින් එම පූජා භාණ්ඩ වේහැල්ලේ සඟ පරපුරටම අයත් ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ තැන්පත් කරන ලදි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවූ ගල්පොත්තාවෙල විහාරය පිහිටියේ කුට්ටාපිටිය නින්ද-ගමේ බස්නාහිර කාර්තුවේ කෙළවරකය. වත්මන් සීමා මායිම් අනුව නම් පැල්මඩුල්ල ගන්කන්ද ජාතික පාසල ආසන්නයේය. විහාරස්ථානය සෑදීමට පෙර රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන යනු පිණිස නින්දගමේ ආදායම් ගබඩා කරන්නට ඇත්තේ මෙම ස්ථානයේ බවට විශ්වාස කෙරේ.
අද ‘ශ්‍රී පාද පන්සල’ නමින්, එසේත් නැති නම් ‘ගල්පොත්තාවෙල’ විහාරය නමින් භාවිතයට පැමිණ ඇත්තේ එකල කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද එම ‘කීර්ති ශ්‍රී රාජසිංහ රාජ-මහා විහාරස්ථානය’ යි.
නඩු කටයුතු අවසන් වීමෙන් පසුවද වසර විස්සක් තිස්සේ නිර්මාණය වූ සම්ප්‍රදාය වෙනස් නොවී අඛණ්ඩව පවත්වාගෙන එන්නට කටයුතු යෙදුණු අතර ඉන් පසු අද දක්වාම සිරිපා වන්දනා වාරය ඇරැඹෙන්නේ ගල්පොත්තාවෙල සිට සිදු කෙරෙන “දෙවි හාමුදුරුවන් වැඩම වීමේ” පෙරහරිනි.
මුල් යුගයේදී පෙට්ටගමක බහා තිබූ පූජා භාණ්ඩ සුදු ඇඳුමෙන් සැරසුණු තේවාකරුවන් විසින් හිස මත තබාගෙන පලාබද්දල හරහා සිරිපාදයට වැඩමවා තිබූ අතර පසුකාලීනව ගමන් පහසුව අරමුණු කරගෙන එම පූජා භාණ්ඩ රැගෙන ගොස් ඇත්තේ හැටන් පාරෙනි. 1980 දශකයේ අග භාගයේ රටේ පැවැති අවිනිශ්චිත තත්ත්වයන් සහ වෙනත් හේතු එයට බලපාන්නට ඇතැයි අනුමාන කළ හැකි අතර 2011දී පත්වූ නව ශ්‍රීපාදාස්ථානාධිපති හිමි-යන් ශ්‍රීපාද වාරය ආරම්භ කිරීම සමස්ත සබරගමුවටම දැනෙන මහා උත්සවයක් ලෙස සංවි-ධානය කිරිම නිසා 2013 සිට හැටන් පාරෙන් පමණක් නොව, පලාබද්දල සහ බළංගොඩ පාරෙන්ද පූජා භාණ්ඩ උඩමළුවට වැඩම කිරීම සිදුකෙරේ.
මහ සමන් දේවාලය තරම් ඉපැරැණි දේවාලයක් නොවූවද, ගල්පොත්තාවෙල පන්සලේ සමන් දේවාලයක් තිබේ. උඩමළුවෙන් රැගෙන එන පූජා භාණ්ඩ තැන්පත් කර තබන්නේ එහි ඇතුළු කුටියකය. වාරවසානයේදී රැගෙන විත් ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගේ සහ ගිහි භාරකාරත්වයේ අධීක්ෂණයෙන් එහි තැන්පත් කෙරෙන පූජා භාණ්ඩ යළි එළි පහළියට ගනු ලබන්නේ එම වසරේ උඳුවප් පසළොස්වක දිනට දෙදිනකට පෙරදීය. මෙතරම් පූජනීය ස්ථානයක් අප සභා සීමාව තුළ පිහිටා තිබීම අප ලද මහත් භාග්‍යකි.
ඓතිහාසික ගිලීමලේ රන්කොත් රජමහා විහාරය
රත්නපුර සිරිපාගම මාර්ගයේ ඉළුක්වත්ත හන්දියෙන් පරණ රජ මාවතේ සැතපුම් 1 1 / 2 ක් පමණ ගමන්කළ විට මෙම විහාරය පිහිටා ඇත. පොලොන්නරු යුගයේදී 1 වැනි විජයබාහු රජු, ගිලීමලේ හා බඹරබොටුව යන ගම්මාන ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැපයීම සඳහා ශ්‍රී පාදයට නින්දගම් වශයෙන් පැවරූ බවට මහාවංශයේ සඳහන් වේ. එම පුවත සනාථ කරනා ශිලා ලේඛනය දැනට ගිලීමලේ මැදගම රජමහා විහාරයේ ඇති ශිලා ලේඛනය බවට විශ්වාසයේ පවතී. තවද අඹගමුව ශිලා ලේඛනයේද මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉහත සඳහන් කළ ගිලීමලේ හා බඹරබොටුව ගම්මානවලින් ලද ආදායම බෙදාහරින ආකාරය සඳහන්ව ඇති බව තහවුරු කෙරේ. ඒ අනුව එකල මේ මැදගම රන්කොත් රජමහා විහාරය ප්‍රකට විහාරස්ථානයක්ව පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.
එසේ ම ඉන් පසු කලෙක රජ පැමිණි නිශ්ශංක මල්ල රජුද මේ මඟ ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ ගිය බවට ඓතිහාසික සාක්ෂි ඇත. තව ද නොයෙක් දේශාටකයින් පවා අතීතයේදී මේ ඉපැරැණි රජ මාවතේ ගමන් කරමින් ශ්‍රී පාද වන්දනාවට සහභාගී වූ බවට සාක්ෂි ඇත. එහි ඇතැම් තැනෙක මේ විහාරය පිළිබඳව ද සඳහන් වෙයි.
1880 යුගයේදී හික්කඩුවේ සුමංගල හිමියන්ට ශ්‍රී පාද භාරකාරීත්වය පැවරී තිබු සමයේදී, එම කටයුතු පැවරුණු කිරිලිපනේ ගුණරතන ස්වාමීන් වහන්සේ මේ පුදබිම නැවත පිළිසකර කර අද දක්වාම බෞද්ධයන්ගේ වන්දනාමානයට පහසුකම් සපයා ඇත.
එසේ ම, 1856 වසරේ බ්‍රිතාන්‍යන් මෙරට පාලනය කළ සමයේදී, ඔවුන් මෙරට ගනින්නාන්සේලා පිළිබඳ සකස් කළ ලේඛනවල ද ‘මැදගම රන්කොත් රජමහා විහාරය’ යන නාමය මෙන් ම, එහි වාසය කළ ඇලපාත පතිරන්නැහේලාගේ රේවත ගනින්නැහේ’ යන නම් සඳහන් වෙයි.තව ද තෙත් කලාපයට අයත් මේ ප්‍රදේශයේ ජීවත් වන කූඩැල්ලන් නිසා ඇතිවූ අපහසුතාව පිළිබඳව ෆෙඩ්රික් ලෙවිස් ගේ ලේඛනවල ද සඳහන් වේ. මේ විහාරස්ථානයේ ස්ථාපිත ඉපැරැණි බෝධි වෘක්ෂය පිළිබඳවද අපූර්ව පුරාවෘත්තයක් පවතී. මේ බෝධීන් වහන්සේ ශ්‍රී පාදස්ථානයේ ස්ථාපනය කිරීම සඳහා රැගෙනවිත් ඇති අතර, ඒ සමඟ පැමිණි පිරිස් අතරමඟදී මේ පුදබිමේ දින කිහිපයක් ගත කිරීමට කටයුතු කර ඇත. ඉන් පසු ඔවුන් යළිත් ශ්‍රී පාදස්ථානය බලා පිටත්වීමට සූදානම් වී බලන කල එම බෝධීන් වහන්සේ මේ පුදබිමේ මුල් ඇද තිබීම නිසා එය එහිම පිහිටුවා නික්ම යන්නට එම පිරිසට සිදුවී ඇත.
මේ ආසන්නයේම පිහිටි නිශ්ශංකමල්ල රජු විසින් ශ්‍රී පාද වන්දනාවේදී භාවිත කළ මාලිගාවක් බව සැක කරන නටබුන් අනුව, මැදගම රන්කොත් රජ මහා විහාරයට අතීතයේ ශාසනික වශයෙන් විශාල වැදගත්කමක් තිබු බව සිතිය හැකිය. අප ඉහත සඳහන් කළ ගිලීමලේ හා බඹරබොටුව ගම්මාන, මහනුවර රාජධානියේ ගබඩා ගම් බවට පත්වුව ද මේ විහාරයේ ආගමික හා ශාසනික මෙහෙවර තවමත් නොනැසී පවතින බව පෙනෙන්නට තිබේ.
සොබා දහමෙන් නිර්මාණය වූ රමණීයම හා නිස්කලංක පරිසරයක පිහිටා ඇති මැදගම රන්කොත් රජ මහා විහාරය, තවදුරටත් අප සැමගේ සිත නිවන්නට සමත් සිද්ධස්ථානයක් බව සඳහන් කළ යුතුය.
රත්ගඟ පන්සල ( පුංච් දඹදිව )
සබරගමු පළාතේ පමණක් නොව ලක්බිම පුරාම ප්‍රචලිතව ඇති පුංචි දඹදිව ගැන බෞද්ධ ජනතාව දක්වන්නේ මහත් උනන්දුවකි. රත්නපුර නගරයේ සිට වේවැල්වත්ත මාර්ගයේ ගමන්කර ගලබඩ මන්සන්ධියෙන් වමට හැරී රත්ඟග මඟ ඔස්සේ සැතපුම් හතක් දුර ගමන් කළ විට හමුවන පුංචි දඹදිව නෙත සිත පහන් කරවන්නේ නිරායාශයෙනි. සිරිපා කඳුහිස පාමුල රත්ගඟ නදිය අසබඩ නිර්මාණය කර ඇති පුංචි දඹදිව ආරම්භක කතාව අසූ එක්වැනි දශකය කරා දිව යන්නකි.
පුංචි දඹදිව පූජා භූමියට පිවිසෙන කාහට වුවද දඹදිව ඉපැරණි සැවැත්නුවර බිමෙහි සිටින්නාක්මෙන් පිවිතුරු හැඟුම් ගලා එන්නේ නිරායාසයෙනි. පසෙකින් දිස්වන්නේ, අසූමහ ශ්‍රාවක පස්විසි බුදුරජ මහ වෙහෙරයි. තවත් පසෙකින් නෙත ගැටෙන්නේ ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයෙන් පැමිණෙන බැතිමතුන්ට නවාතැන් පහසුකම් සැළසීමට ඉදිකළ සුවිශාල ධර්මශාලා මන්දිරයකි.
අසූමහ ශ්‍රාවක පස්විසි බුදුරජ මහ වෙහෙරෙහි තැන්පත් කිරීම පිණිස බුරුම දේශයෙන් වැඩමකළ අති විශාල කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ නව බුදු මැදුර තුළ වඩා හිඳුවීමෙන් පසු 2009.07.31 දින බුදු මැදුර විවෘත කළේ එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්.
මෙයට අමතරව අඩි 203ක් දිගින් සහ අඩි 62ක් පළලින් යුතු සුවිශාල ධර්ම ශාලාවක්ද මෙහි තිබේ. එනිසා නන් දෙසින් එන වන්දනා නඩ වෙනුවෙන් නවාතැන් පහසුකම් මෙහි තිබේ. 2003 වසරේදී විවෘත කෙරුණු දෙත්‍ය රාජයාණන් වහන්සේද ශ්‍රී ලංකාවේ ඇති එකම දෙමහල් සෑය වශයෙන් එකල විවෘත විය. පහත් බිම් මාලයේ සම්බුදු පියාණන් වහන්සේගේ දස පාරමිතා පුවත් නිර්මාණය කර ඇති අතර ජාතක කතා වස්තු රාශියක් නිර්මාණය කර ඇත.මෙහි උඩු මාලයේ මහා භද්‍රකල්පය තුළ ලොවට පහළ වී වදාළ කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝනාගම බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ, යන සතර බුදුවරයින් වහන්සේලාගේ ප්‍රතිමා සතර ද සධාතුක ධාතු නිදන් කළ චෛත්‍යයද නිර්මාණය කර ඇත.මෙහි වැඩ නිම කිරීමට කෝටි දෙකක් පමණ වැය වී ඇති අතර මෙම දෙමහල් සෑය සිත්ගන්නා සුලු අංගයක් බවට "පුංචි දඔදිව" සිද්ධස්ථානය තුල පත් වී ඇත.
දඔදිව ඉන්දියාවේ මධ්‍ය දේශයේ වැඩ වසන උතුම් වූ ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස රන් වැටක් හා උතුම් වූ වජ්‍රාසනයට ආවරණය පිණිස රන් වියනක්ද ශ්‍රී ලංකාවෙන් පූජා කරන ලදී. පසුව දුර්වර්ණ වූ රන් වියන හා රන් වැට රත් ගඟ පුංචි දඔදිව මහා විහාරාධිපති අති පූජ්‍ය ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක මහා හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කටයුතු සිදු කර උත්සවශ්‍රීයෙන් විවෘත කෙරිණි.මෙම පිංකම සිහිපත් වීම පිණිස බෝධිකාරක මණ්ඩලය මහා බෝධි සමාගම බිහාර් ප්‍රාන්ත රාජ්‍යය යන ආයතන මඟින් ගත් තීරණය මත බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලබා දෙන ලදී. මෙම බෝධි අංකුරය ශ්‍රී ලංකාද්වීපයට වැඩමකොට වඩා හිඳුවා වර්ෂ 2006ක් වූ මාර්තු මස 27 වෙනි දින රෝපණය කරන ලදී. පසුව විශේෂිත වූ බෝධි මණ්ඩපයක් සාදා එහි බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී. මෙම බෝධි ශාඛා රෝපණය දේවානම්පියතිස්ස මහ රජු දවස සංඝමිත්තා තෙරණිය විසින් වැඩමවා අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කරන ලද ශ්‍රී මහ බෝධි ශාඛාවෙන් පසු මෙරටට වැඩමවා පුංචි දඔදිව රෝපණය කරන ලද දෙවන බෝධි ශාඛා වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී ඇත.
වීරගොඩ පන්සල
සපරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිටි කෝරළය බද දකුණු උඩපත්තුවේ අමුණාගොඩ හෙවත් වීරගොඩ ගම්පියස වාසනාවන්ත ප්‍රදේශයක් වනු ඇතැයි එකල මෙහි ජීවත් වූ වැසියන් කල්පනා කළා විය හැකියි. මන්ද වර්තමානයේ එම භූමිය චිරප්‍රසිද්ධ පුණ්‍යභූමියක් වෙමින් පවතින බැවිනි. එය අද හඳුන්වනු ලබන්නේ රත්නපුර, හිදැල්ලන, වීරගොඩ ශී‍්‍ර මහා විහාරය ලෙසයි. වෙනත් විධියකින් හඳුන්වන්නේ නම් කොළඹ සිට මඩකලපුව දක්වා දිවෙන ඒ හතර මාර්ගයේ 95,96 කිලෝමීටර් කණු අතර මාර්ගය ආසන්නයේ පිහිටි විහාරස්ථානයයි.
සීතාවක රාජ්‍ය සමයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දෙල්ගමුව රජමහා විහාරයේ තැන්පත් විය. එම කාලසීමාව තුළ සපරගමු මහ සමන් දේවාලයට පෙරහැර කරවීම සදහා දෙල්ගමු විහාරයේ සිට සමන් දේවාලයට වැඩම කරවීමේ මාර්ගයේ හරි මැද අමුණාගොඩ ගම්මානයයි. එසේ දළදා වහන්සේ වැඩමවාගෙන ඒමේදී සහ යාමේදී දවල් බුද්ධ පූජාව තැබීම සහ ඒ සමඟ වැඩම කළ භික්ෂූන් වහන්සේ මෙන්ම පැමිණි නිලධාරින් දිවා භෝජනය ගෙන මොහොතක් විවේක ගත් ස්ථානය පසුව භික්ෂූන් වස් වසා වැඩ සිටි ස්ථානයක් විය.
ප්‍රදේශයට, පළාතට පමණක් නොව ලෝකයේ සුවිසල් ප්‍රතිමා නෙළීමේ කලාවට සම්බන්ධ වෙමින් අඩි 84 ක් අහස උසට විහිදී ගිය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙහි ඉදිවී ඇත.
පරිත්‍යාගශීලී ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ප්‍රදේශවාසී බොදුනුවන්ගේ ධනව්‍යයනේ ඉදිවී ඇති මෙම සමාධි හාත්පස ප්‍රදේශය අශෝක ස්ථම්භයන්ට අනුව යමින් කුලුනු ප්‍රතිමාව 16 කින් සමන්විත වන අතර විශාල දිය පොකුණකින්ද යුක්තය.
2016 මැදින් පුර පසළොස්වක පොහෝදින පස්වරු 2.30 ට සියම් මහා නිකායේ කීට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මාහිමියන් වහන්සේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන අභිවන්දනය සඳහා නිරාවරණය කෙරෙනු ඇත.